නවතම අන්තර්ජාල චිත්‍රකතා සඟරාව දැන් සතිපතා

HOME | ABOUT USARTISTSSTORIES | MAGAZINE ARCHIVE | SPECIALS | CHITHRAKATHA CHARITHACONTACT US

Please Share

නිව්රෝ

ආගමනය

නිව්රෝ ගේ චිත්‍රකතා ආගමනය සිදුවන්නේ චිත්‍රකතා රසිකයින් “නීලා” සහ “මේඝ” නම් වූ වීරයන් දෙදෙනෙකු හඳුනාගෙන සිටින මොහොතකය. ශ්‍රී ලංකාවේ පළමු චිත්‍රකතාව වූ “නීලා” ජී.ඇස්. ප්‍රනාන්දු ගේ නිර්මාණයකි. එය පළවූයේ ඉරිදා ලංකාදීප පුවත්පතේ වන අතර අනුර විජේවර්ධන ගේ “මේඝ” පළවන්නේ ශ්‍රී ලංකාවේ පළමු චිත්‍රකතා පුවත්පත වූ “සතුට” පුවත්පතේය. මේ චිත්‍රකතා චරිත දෙකම නිර්මාණය වී ඇත්තේ ටාසන් සම්ප්‍රදායේ කතා ආර අනුවය.

හඳුන්වා දීම

“නිව්රෝ” චිත්‍රකතාවේ ආරම්භයක කොටස පළ වූ “සතුට” පුවත්පතේ මුල් පිටුවේ එම චිත්‍රකතාව හඳුන්වා දී ඇත්තේ මෙසේය.

“ද්‍රෝහී බිසව නිසා සැවානා රාජධානිය දෙදරයි. රූමත් කුමාරියක නිසා මුළු හමුදාවකට විරුද්ධව සටන් කිරීමට නිව්රෝට සිදුවෙයි. ඔහුට සහයට සිටින්නේ තන්ඩර් සහ ඔමිගා පමණි. මිනිසුන් සමග සටන් කළ හැකි පුදුම අශ්වයෙකුගේ වීර ක්‍රියාවලිනුත් අයෝමය වීර පුරුෂයන් තිදෙනෙකුගේ ලොමු දැහැහැන්වෙන සටන් වලිනුත් පිරි නිව්රෝ යොවුන් පරපුරේ අලුත්ම වීර කතාව.” (සතුට, මුල් පිටුව 1973.04.03)

චරිත නිර්මාණය

නිව්රෝ චරිතය නිර්මාණය කර ඇත්තේ ග්‍රීක, රෝම වීර පුරුෂයන් හා සටන්කාමීන් ගේ හැඩරුව ආදර්ශයට ගෙන බව හඳුනා ගත හැකිය. ශ්‍රී ලාංකික රාජාවලියේ එන මහරජ ගැමුණු ගේ බල ඇණියේ සිටි දසමහ යෝධයන්ගේ ශාරීරික ලක්ෂණ
පිළිබඳ ආදර්ශයක් ද නිව්රෝ නිර්මාණයේ දී ලබා ගන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය.

සහායකයන්

සටන් කිරීමේ දී නිව්රෝ ගේ සහයට “තන්ඩර්” නම් උප සෙනෙවියා හා සෙනෙවියකු වූ “ඔමිගා” සිටිති. මිනිසුන් සමග සටන් කළ හැකි, වේගයෙන් දිවිය හැකි “ඒන්ජල්” නම් බුද්ධිමත් ජවාධිසම්පන්න අශ්වයෙකු ද ඔහුගේ සහයට සිටියි.

ශරීර ලක්ෂණ

උස අඩි හයකට වඩා වැඩි හැඩි දැඩි පුරුෂයෙකි.
දෑතේ බාහු, දෙකලව හා පපුවේ මස්පිඩු හොඳින් වර්ධනය වී ඇත්තේ අයෝමය පුරුෂයකුගේ මෙනි. කඩවසම් පෙනුම ඕනෑම කෙනෙකුගේ සිත් ගන්නා සුළුය.

සටන් ක්‍රමය

නිව්රෝ ගේ සටන් වැදීමේ ක්‍රමය විශේෂ ය. නිරායුධ පුද්ගලයෙකු වන ඔහු බාහු බලය, පාද බලය හා ශරීරයේ ශක්තිය විනා කිසි විටෙක අවි ආයුද භාවිත නොකරයි. උපක්‍රමශීලීව සතුරා පරාදය කිරීමට හැකි හැම විටම උත්සාහ දරයි. සමහර විටක සතුරා ගේ අයුධ ම ඔවුන් මර්ධනය කිරීමට යොදා ගනියි.

ඇඳුම

කළු තිත් වලින් යුත් දකුණු උරහිස පමණක් වැසෙන දිවි සමක් වැනි ඇඳුමකි. උඩුකය හා යටිකය එකට නිර්මාණය කර ඇති ඇඳුමේ යටිකය දණගිසට ඉහල දක්වා පමණක් ආවරණය වෙයි. කළු ඉණ පටියෙන් ඇඳුමේ උඩු කය සහ යටි කය වෙන් වෙයි.

පැරණි රෝමයේ ග්ලැඩියේටර් රණ ශූරයන්ගේ ඇඳුමට සමාන කමක් දක්වයි. ග්ලැඩියේටර්වරු යනු මරාන්තික සටන් සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද වහලුන් සහ සිරකරුවන්ය.

එසේම ගුහා ආශ්‍රිතව ජීවත් වූ ආදී වාසීන්ගේ ඇඳුම ද මීට සමාන විලාසයක් ගනියි. ඒ ඇඳුම ද සම් වලින් සකස් කර ගෙන ඇත්තේ මේ ආකාරයෙන් බව වාර්තා වෙයි.

විලාසිතා සහ ආභරණ
  • කොණ්ඩය : තරමක් වැවුණු කැරලි සහිත කොණ්ඩය ඉදියෙන් පැත්තට පීරා ඇත. කණ දෙපස සයිඩ් බම්ප් දෙක තබා ඇත. රැවුල කපා මුඩු කර ඇති අතර මුහුණ දිගටි චතුරස්‍රාකාර හැඩයකින් යුක්තය.
  • පාවහන් : හම් පටියෙන් තැනූ පාවහන් දෙකක් පැළඳ ඇත. කකුලෙහි පතුලෙහි සිට අඩියක් පමණ ඉහළට වන තෙක් පටි ආකාරයෙන් වෙලා ඇත.
  • ඇස් පළඳනා පටිය : ඇස් වැසෙන සේ කළු පටියක් පැළඳ ඇත. එය වර්තමානයේ තරුණයක් පළඳින අව් කණ්නාඩියක හැඩය ගනියි.
  • අත් පළඳනා පටිය : දෙඅතේ මැණික් කටුව ඉහිලින් හම් කොපුවක් ආකාරයේ අත් වැසුමක් පැළඳ ඇත.
ගතිගුණ

යුක්තිය සාධාරණය වෙනුවෙන් සටන් කරන නිව්රෝ සන්සුන් ආකාරයෙන් ආක්‍රමණයට මුහුණ දෙයි. සාමාන්‍ය ජීවිතයේ දී කාරුණික බවක් පෙන්වයි. අනෙකාට උපකාර කිරීමට නොබියව ඉදිරිපත් වෙයි. සටනේ දී ජවාධිකව ඉදිරියට වෙයි. කෝපයෙන් ගිගුම් දෙයි.

සටන් විලාසය සහ විස්තර

නිව්රෝ පිළිබඳව නාම මාත්‍රිකව අපට අසන්නට ලැබෙන්නේ ඔමිගා වෙත තන්ඩර් විසින් එවන ලද පණිවිඩයක් මගිනි. පරෙවියෙකු අතේ එවන ලද එම පණිවිඩයේ සඳහන් වන්නේ “ෂර්මේන් කුමරිය” අතුරු දහන් වී ඇති බැවින් ඇයව සොයා ගැනීමට වහාම නිව්රෝට දන්වන ලෙසය.

ෂර්මේන් කුමරිය යනු සැවානා රාජ්‍යයේ රජතුමාගේ දූ කුමරිය යි.

නිව්රෝ පළමු වරට අප ඉදිරියේ පෙනී සිටින්නේ මහ සෙනෙවි විසින් ෂර්මේන් කුමරිය පැහැර ගෙන විත් නැවතී සිටින ස්ථානයේ දී ය. ඔහුගේ සටන් කිරීමේ විලාසය ඇරඹෙන්නේ මෙතැන දී ය. මහ සෙනෙවි වෙත දිවියෙකු ලෙස කඩා පනින නිව්රෝ පොළොවට පතිත වන්නේ මහ සෙනෙවි ඔහු ගේ වමතින් අල්ලා කරකවා අත හරින බැවිනි. ක්ෂණයකින් දෙකකුල් ඉහළට ඔසවන නිව්රෝ, මහ සෙනෙවියා ග්‍රහණයට ගන්නේ ගෙල සිර කිරීමෙනි. බිම වැටෙන මහ සෙනෙවි ඔහු ඔසවා ඈතට විසි කරන්නේ යගුලියක් විසි කරන්නා සේ ඉතා පහසුවෙනි. ඉනික්බිතිව කුමරිය බේර ගන්නා නිව්රෝ ඒන්ජල් සමග පැන යයි.

සැවානා රාජ්‍යයේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ, රජු මරා සිහසුන පැහැර ගැනීම සඳහායි. රජුගේ දෙවන බිසව නැතිනම් ෂර්මේන් කුමරියගේ සුළු මව, මහ සෙනෙවි සමග එකතු වී මේ කුමන්ත්‍රණය දියත් කරයි. අහම්බෙන් එය කුමරියට දැනගන්නට ලැබෙයි. ඒ හේතුවෙනි මහ සෙනෙවි විසින් ෂර්මේන් කුමරිය පැහැර ගනු ලබන්නේ.

බේරාගත් ෂර්මේන් කුමරිය ඔබිගා භාරයේ තබන නිව්රෝ සැවානා රාජ්‍යයේ රජ මැදුරට පිවිසෙයි. උප සෙනෙවි තන්ඩර් ගේ උපකාරයෙන් රජතුමා බේරා ගෙන කුමරිය වෙත රැගෙන එයි.

රජතුමා බේරාගත් බව හෙළිදරව් වූ පසුව මහ සෙනෙවි අණ කරන්නේ නිව්රෝ සමග රජතුමා සහ කුමරිය ජීවග්‍රහණයෙන් අල්ලා ගෙන එන ලෙසයි. එහෙයින් ලූෂන් සෙනවියාගේ නායකත්වයෙන් යුතු විශාල සේනාංකයට මුහුණ දෙන්නට නිව්රෝට සිදුවෙයි.

නිව්රෝ යන මග හරස් කර විශාල ගසක් පෙරළා දමා ඇති බව දකින නිව්රෝ එය ඉවත් කරන්නට සූදානම් වෙයි. ඔහු එසැණින් උගුලක හසුවෙයි. ශක්තිමත් කඹයකින් තැනූ මද්දක සිරවන ඔහු කඹය ඇද වට්ටන්නේ පර්වතය මුදුනේ කඹය අල්ලාගෙන සිටින යුධ සේනාවත් සමගයි.

එහෙත් සේනාවට මැදි වන නිව්රෝට යටත් වීමටත්, ඔවුන් සමග මාළිගයට යාමටත් සිදුවෙයි. එහි දී ඔහුට මිනීමරු සිංහයෙකු සමග සටන් කර දිවි ගලවා ගන්නට සිදුවෙයි. එසේම යකඩ දම්වැලින් ඔහු සිර කර බැඳ තබා ඇති යෝධ කුළුණු දෙකින් මිදී සටන් කිරීමටත් සිදුවෙයි. එසේ බිහිසුණු සටනකින් පසු මහ සෙනවියාගේ ග්‍රහණයෙන් මාළිගය නිදහස් කර ගැනීමට නිව්රෝ සමත් වෙයි.

නිව්රෝ මේ සියල්ලට මුහුණ දෙන්නේ, ඔහු සතු වීර චරිතය ඉස්මතු වෙන අයුරිනි. සිය වීරත්වය ප්‍රදර්ශනය කරමින් සිහසුන රැක දීම වෙනුවෙන් රජුගෙන් නිව්රෝට හිමිවන අගනාම තිළිණය වන්නේ සැවානා රාජ්‍යයේ රජුගේ දියණිය වූ ෂර්මේන් කුමරිය ඔහුට සරණ පාවා දීමයි.

(ස්තුතිය : නිමන්සා ප්‍රකාශනය සහ සතුට රසික සමූහය වෙත)

©සුප්‍රි සමරසිංහ
[email protected]
2022.07.10

error: Content is protected !!

සිත්තරා අන්තරජාල චිත්‍රකතා පත්‍රයේ පළවනුයේ අදාළ හිමිකරුවන්ගේ නිල අයිතිය හිමිවූ චිත්‍රකතා පමණි. වගකීම් සහිත ආයතනයක් ලෙස අදාළ නිර්මාණකරුවන්ගේ අයිතීන්ට සැමවිටම ගරු කරන කරමු.