HOME | ABOUT US | ARTISTS | STORIES | MAGAZINE ARCHIVE | SPECIALS | CHITHRAKATHA CHARITHA | CONTACT US
බලන්ගොඩ සරත්මදු ගේ “යුනිකෝ- දෙවැනි කොටස” සිත්තර පුවත්පතේ 1978 පෙබරවාරි 06 වැනිදා සිට පළ වී ඇත.
වෙනත් චිත්‍රකතා ශිල්පීන් කිහිප දෙනෙකු අතින් ද නිර්මාණය වූ “යුනිකෝ” චරිතය නැවත නැවතත් චිත්‍රකතා රසිකයින්ට හමුවන බැවින් එය අමරණීය චරිතයක් බවට පත් වී ඇත.
යුනිකෝ ගේ චිත්‍රකතා ආගමනය සිදුවන්නේ බලන්ගොඩ සරත්මදු විසින් ම “නිව්රෝ” වීරයාගේ චරිතය ශ්‍රී ලංකාවේ පළමු චිත්‍රකතා පුවත්පත වූ “සතුට” පුවත්පතින් හදුන්වා දී ඇති අවස්ථාවකය.
Unicorn යනු කඟවේනා ය. කඟවේනා යනු පුරාවෘත්තයන්හි සඳහන් වන මනඃකල්පිත සත්වයෙකු ලෙස හඳුන්වයි. කෙසේ වෙතත් බොහෝ ඈත යුගයක ජීවමාන සත්වයෙකු ලෙස මිහිමත වාසය කළ බවට ද සාක්ෂි ඇතැයි වාර්තා වෙයි.
කඟවේනා අධික වේගයෙන් දිවිය හැකි, නලල මත අඟක් ඇති අශ්වයෙකු වැනි සතෙකු ලෙස පොත පතෙහි විස්තර කරයි.
යුනිකෝ ගේ හැඩ රැව නිර්මාණයේ දී ආදර්ශයට ගෙන ඇත්තේ ග්‍රීක, රෝම වීර පුරුෂයන් හා සටන්කාමීන් ගේ හැඩරුව බව හඳුනා ගත හැකිය. ඉතිහාස කතා වල සඳහන් වන දසමහා යෝධයන්ගේ හා අයෝමය පුරුෂයන් ගේ කායික ලක්ෂණ පිළිබඳ ආදර්ශයක් ද යුනිකෝ නිර්මාණයේ දී ලබා ගන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය.
“නිල්වෝ” නැමැති අශ්වයා
ඩෙවිලෝ නැමති වවුලා
මෙරෝයි නැමැති සිංහයා
යුනිකෝ දේහධාරී සද්දන්ත පුරුෂයෙකි. නිවෝලා රාජ්‍යයේ වැසියන් යුනිකෝ ගැන මෙසේ පවසයි. ” මම නම් ජීවිතේටම මේ වගේ සද්දන්ත මනුස්සයෙක් දැකල නෑ.” “ලේසි පාසු පුතෙක් නෙවෙයි.”
ක්ෂණයකින් අතුරුදහන් වීමටත් නැවත පෙනී සිටීමටත් හැකි වේගවත් බවක් ඔහු සතුය. එනිසා නිවෝලා වැසියන් මෙන්ම රාජපුරුෂයන් ද ඔහු අවතාරයක් ලෙස සළකයි.
යුනිකෝ ඔහුම හඳුන්වන්නේ “මම මනුෂ්‍යයෙක්. ඒත් මා ගැන දැන ගැනීමෙන් වැඩක් නෑ” යනුවෙනි. ඉන් හැඟෙන්නේ ඔහුගේ තොරතුරු හෙළි කරන්නට ඔහු උත්සාහ නොකරන බවයි.
වරෙක උපක්‍රමශීලීව සිය බාහු ශක්තියෙන් සතුරා අල්ලා බිම හොවන ඔහු නිතරම සිය යෝධ අසිපත සියතට ගනියි. සටනේ දි පසු නොබසී. අධිෂ්ඨානය ජයග්‍රහණය තෙක් රැක ගනියි. යෝධ ගුරැළා සමග සටන් කිරීමේ දී මෙන් සටනේ දී අවදානම් බව අභියෝගයක් කර ගනියි.
මුලන්ම හමුවන විට ඔහු ඇඳ සිටින්නේ උඩුකයට බැනියමක් වැනි ජැකටයක් හා යටිකයට කෙටි ඇඳුමකි. ජැකටය වම් උරහිස පමණක් වැසෙන ඝණ රෙද්දකින් වැසුණකි. යටිකය දණගිසට ඉහල දක්වා පමණක් ආවරණය වෙයි. මහත ඉණ පටියක් පැළඳ ගෙන සිටියි.
ඒ ඇඳුම් පැරණි රෝමයේ ග්ලැඩියේටර් රණ ශූරයන්ගේ ඇඳුමට සමාන කමක් දක්වයි. ග්ලැඩියේටර්වරු යනු මරාන්තික සටන් සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද වහලුන් සහ සිරකරුවන්ය. එසේම ගුහා ආශ්‍රිතව ජීවත් වූ ආදී වාසීන්ගේ ඇඳුම ද මීට සමාන විලාසයක් ගනියි. ඉණ පටියෙහි වම්පස දිගු අසිපතක් රඳවා ගෙන සිටියි.
අවදානම් අවස්ථාවල අභියෝගය බාර ගනී. උපක්‍රමශීලීව සතුරා පිළිබඳව සොයා බලමින් සතුරාට ළවෙයි.
යුනිකෝ ඔහුම හඳුන්වන පරිදි ‘මම මනුෂ්‍යයෙක්’. “මම යුක්තියට හිස නමන මිනිහෙක්” යනුවෙන් වරෙක යුනිකෝ තම සතුරන්ට අභීතව පවසයි.
“මිනිසෙකු වශයෙන් ජීවත් වන මේ සුළු කාලය තුළ ලෝකයාට කළහැකි උපරිම සේවයක් ඇත්නම් එය කිරීම මගේ එකම පරමාර්ථය යි. ” යනුවෙන් ද්, “සටනකින් අප බලාපොරොත්තු විය යුත්තේ බලය අල්ලා ගැනීම නොව පොදු මිනිසාට ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදී ඔවුන්ට උපරිම සේවයක් කිරීමයි.” යනුවෙන් ද යුනිකෝ සිය අදහස් හෙළි කරයි.
යුනිකෝ මුලින්ම චිත්‍රකතා රසිකයින් හමුවට එන්නේ නිවෝලා රාජ්‍යයේ දී ය. නිවෝලා රාජ්‍යයට යුනිකෝ ගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ අහඹුලෙස ලෙස බව පෙනෙන්නේ ඔහුට එහි සිදුවන දේ ගැන අවබෝධයක් නොමැති වීම නිසාය.
එවකට පවතින්නේ නිබෝලා රාජ්‍යයේ මහරජු වූ රෝග්ලීස් ගේ කෲර පාලන සමයයි. රටවැසියන් අසාධාරණ ලෙස තලා පෙලමින් බධ බන්ධනයට ලක් කරමින් ගෙන ගිය පාලන සමයෙහි දිනයකි ඒ. හේවායෝ දැරියක් පැහැර ගෙන ගොස් ඇත. වැසියන් දිවි ගෙවන්නේ මර බියෙනි..
ඒ මොහොතෙහි අනපේක්ෂිතව හේවායින් පැමිණුන බැවින් තනිවම ඔවුන්ට මුහුණ දීමට යුනිකෝට සිදුවෙයි. අසිපත ද අතට නොගත් ඔහු හේවායින් මර්දනය කරන්නේ ඔවුන් හතර අතට විසි කරමිනි.
රට වැසියන් වෙනුවෙන් කතා කිරීමේ වරදට අසාධාරණ ලෙස සිරගත කළ ටෙරිඩෝ සනෙවියා බේර ගැනීම ඊළඟ වික්‍රමයයි.
වික්‍රමයන් රාශියකට පසුව යුනිකෝ ජයග්‍රහණය ලබා ගනී. ඩිවයිනා දේශයට පිවිසීමේ දී ඇති වන සටන, දැවැන්ත කුරුල්ලකු සමග සටන් වැද ඌ විනාශ කිරීම, එහි පාලකයා වූ වෝගීර් ගේ අත්භූත මාලිගයට පිවිසීම, උපක්‍රමශීලීව වෝගීර් ගේ හා රෝග්ලීස් ගේ කුමන්ත්‍රණය දැන ගැනීම ඉන් කිහිපයකි. ඩිවයිනා දෙව්දුවට අයත් වටිනා මාණික්‍යය හා වස්තුව ලබා ගැනීමට නිවෝලා කුමරිය බිලි දීම එම ක්‍රමන්ත්‍රණය යි.
රාජ්‍යය තුළ ඇති වන ගැටුම් හා හැල හැප්පීම් මැද නිවෝලා කුමරියට කිරුළ පැළඳවීම සිදු වෙයි. රෝග්ලීස් සියතින් මරු වැළඳ ගැනීම සිදු වන අතර ‘වෝගීර් හා තමා නිවෝලා කුමරියගේ පියා ඝාතනය කළ බවට’ පාපෝච්චාරණය කරයි.
අවසානයේ දී නිවෝලා රැජින යුනිකෝ ගැන මෙසේ සඳහන් කරන්නීය.
“යුනිකෝ ඔබ මගේ ජීවිතයේත් නිවෝලා ඉතිහාසයේත් රන් යුගයක් උදාකළා. ඔබ නොසිටින්නට අදත් නිවෝලා රාජ්‍යය අඳුරු යුගයක පාලනය වන්නට තිබුණා. “
නොවෝලා රාජ්‍යයෙන් සමුගෙන යන යුනිකෝ රට වැසියන් ප්‍රීති ඝෝෂා නගන්නේ “යුනිකෝ ඔබ අපට දෙවියෙක්” යයි පවසමිනි.
©සුප්‍රි සමරසිංහ
[email protected]
2023.01.06